Posts

Showing posts from February, 2015

හ්ම්.....

නුඹ නැති පාලුව දැනෙනවා හිතවත තනිවට එනවද මං ලඟ හවසට සුදු වැලි වෙරලේ පෙන පිඬු අතරේ සක්මන් කරන්න අත් වැල් පටලන් සුසුම් වැල් වලින් හදවත පුරවා ලොවට හොරා ආදරේ කරන්නට ආයෙත් දවසක ඇවිදින් යන්නට එනවද හවසක රැල්ල සිඹින්නට එනකල් ඉන්නම් මග බලාන මම එදා වගේමත් ඇවිදින් වෙරලට....

සම්මතය

රොබරෝසියා මල් වැටුනු පාලු මාවත් දිගේ අත් වැල් බැඳන් ලෝකයට හොරෙන් විඳි සුවඳ ඔබේ සුසුම් වල අදටත් මතකයි අඳුරු වීදි වල සක්මන් කරමින් සම්මත අසම්මතයන් අතරේ වෙනස දකින්නට අදටත් නොහැකිව දෙතැනක විඳවන පාලු හදවත් දෙකක් සාප කරනවා අදටත් ලෝකයාගේ සම්මතයට...

මගේ තනියට ඉන්න කඳුලු

නිහඬ සිතුවිලි හදට කොඳුරන ඔබේ මතකය උන්නු මං ලඟ නිල් අහස යට තරු පිරුනු අද රෑම අඳුරුයි නැති නිසාවට පුරුදු තනිකම ලඟට ඇවිදින් නෙත් කෙවෙනි අග සුසුම් ලන සඳ බලා ඉන්නේ කුමට මගේ හද නො එන බව දැන දැනම මා වෙත රිදෙන මතකය තාම මං ලඟ ඔබේ අඩුවට කඳුලු ඇත අද කමක් නැහැ සඳ නො එන් කිසි දින කඳුලු තනිවට හිඳියි මං ලඟ.....

නුඹ තලන මගේ හිත

තැලෙන යකඩය තලන මිනිහා දෙවෙනි නෑ උඹේ හිතේ හැටියට තැලෙන මගේ හිත නුඹට නොවටියි තලන යකඩය තරම්වත් දැන් තාලාපන් නුඹ හිතේ හැටියට හිතට සැනසුම දැනෙන තරමට නැතේ තරහක් උඹේ සැනසුම තරම් නොවටියි මගේ කිසිත් මාහට....

ආදරණීය මල්ලී වෙත...

රිදුන තටු බර වැඩියි නුඹේ හිතට මල්ලියේ රිදුනමුත් තටු නුඹට අවැසිවෙයි හැම දිනේ ඉවසපන් වේදනාව හැමදාම නොම දැනේ තටු විදන් ඉගිලෙන්න තව ටිකක් දුර ඇතේ ඉන්න උඹ ඇහැකි නම් මං ලඟින් හිඳින්නම් මට බරක් නැහැ උඹව හැමදාම රකින්නම් යන්නටම ඕනි නම් යන්න උඹ යනව නම් නැහැ කිසිම තරහක් මගේ හිතේ අදටත් ඉගිල යන නුඹ දිහා බලන් මම හිඳින්නේ ඉගිලියන් නොබලාම මතු දිනක මල්ලියේ යන්න තව දුර ඇතේ නුඹට එය යා හැකියි කූඩුවක නැවතියන් හතිලන්න ඒ දිනේ සියලු සැප ලැබීයන් නුඹ ලඟට හැමවිටේ සතුටින්ම ඉගිලියන් ඇය ලඟට මල්ලියේ....

අලු වෙලා වැටුන මගේ හදවත...

මිදුන හිම කැටි දියව යන්නට වැටුන හිරුගේ කිරණ හමුවේ සීත වියැකී උණුහුමෙන් මුලු ගතම වෙලලා සෙනෙහසින්.... කෝපයෙන් ඒ හිරුම ආපසු කිරන විහිදා වියරුවෙන් දැවී යන්නට හදම මාගේ කිරණ පතුරා අලු කලේ... සිහින් වැස්සක් මා වටා වැටෙමින් තෙමන්නට මා සෙමින්... දියව වැටුනා අලුවෙලා තිබු මා හදත් මගෙ ආදරෙත්...

ඇත්ත...

පාලුවෙන් හූල්ල හූල්ල හිටපු මගේ ජීවිතේට එලියක් අරන් ආවේ ඔයා ඔයා මගේ ජීවිතේට අරන් ආපු එලියෙන් තමයි මම මගෙ ජීවිතේ මේ තරම් හරි දුරක් ආවේ.... මගින් හැරිලා යන්න හිතන් නෙවෙයි ඔයා මං ළඟට ආවේ... ඒත් ඔයාට යන්න සිද්ද වුනා... ඔයා වැරදි නැහැ හැබැයි මම වැරදිත් නැහැ... අ‍යිති නැති දේවල් අයිති වෙන්නෙම නෑ මම දැන් ඒක දන්නව... පලුදු වුන වීදුරුවක වටිනාකමත් අඩුයි අපේ බැඳීමත් එහෙමමයි ආදරෙයි තවමත් මම ගොඩක් ඒත් පලුදු වුන අපේ බැඳීමට පැවැත්මක් නැහැ, ඒක තමයි ඇත්ත...

අපි දෙතැනක....

අහම්බෙන් මා සොයා ඇවිදින් හීන ගොන්නක් දුටුව ඔබ මා ළඟින් හිඳ මගේ කනට කොඳුරා කියූ රහසක් තවම මතකයි එක මගක උන් අප දෙදෙන අද විසිර යන මං නොදැන පාවෙන හිස් වූ අපගේ සොඳුරු ජීවිත පාලු කතරක් වී හමාරයි ඔබ ඉමක මා තව ඉමක විඳවමින් ජීවිත පාලුවෙන් ඒ අතීතය ඔබෙත් මාගෙත් දවන හදවත තෙමාලන අද ඉතිරි එපමණ සදා කාලෙට මතක සටහන් වෙමින් සදහට.....

අහස,තරු සහ මම....

අහසේ තරු පායලා තියෙනවා ඒත් හැමදාමත් අහසෙ තරු දකින්න බැහැ මම හැමදාම අහසේ තරු දැකලත් නැහැ, ඒත් අහස පුරාම තරු තියෙනවා අපිට නොපෙනුනත් තරු ගොඩාක් අහසේ තියෙනවා අපි හිතන් ඉන්නවා සමහර තරු තියෙනවා කියලා ඒත් ඇත්තටම ඒවා නැති වෙලා සෑහෙන්න කල් ඒත් අපි හිතන් ඉන්නව ඒ තරු තවමත් තියෙනවා කියලා... ඒත් සමහර දාට අඳුරු අහස දිහා බලන් මම සුසුම් හෙලනවා අහසෙ තරු නැහැ කියලා ඒත් මට නොපෙනුනාට ගොඩක් තරු අහසෙ තියෙනවා ඒත් මට පේන්නේ නැහැ....

එනවා නම් එන්න

මම හුඟක් දුර ආවා මතකද කීවා දවසක් මම කාගෙ වත් අතින් අල්ලගෙන ආවෙ නැහැ කියලා ඔව් ඔයා හරි... ඒත් ඔයාට අමතක උනා ඔයත් මාත් එක්ක මං ලඟින් ආවා කියලා.... මම තනියම මග පාරක් දන්නෙත් නැහැ යන්න ඉස්සරහට යන්නත් බැහැ එහෙම කියලා මට මෙතන නතර වෙලා ඉන්නත් බැහැ... එනවා නම් එන්න තව ටිකක් බලන් ඉඳලා මම යනවා....