Posts

Showing posts from 2014

යන්න ඉතින්......

මේ වැටෙන කඳුලු වැටෙන්නේ නුඹ නිසාමයි තනිව සිටි මට හුදකලාවක තනිය මකලා ආ  නිසා නුඹ යන්න ගිය ඔබ මා දමා අද හඬා වැලපෙයි මුලු හදම එක්ව යන මඟ හීන දැක මං බොහෝ දුරකින් නතරවී හිඳ හීන හීනම කියා වැටහී කඳුලු වැටෙනා ඇස් කෙවෙනි අග සොඳුරු මතකය ඉතිරි කර ඔබ යන්න යන්නම ඔබේ මගකට කුමක් වෙනුවෙන් ඔබේ හදවත නතරවී මග බලන්නේ.... තනිවෙනා මා නොහඬනා විට කුමට ඔබේ ඇස් හඬන්නේ යන්න ඇහැකියි ඔබේ ලොවකට ඔහුත් එක්කල සතුටු වන්නට නොම පමාවනු වසන්තය ලඟ බලන් ඉන්නට තවත් දවසක්...

මලට කියමි

පෙති තැලුන බව දැන දැනත් තවමත් තුරුලුකරන් රකින්නේ වියලි සුලඟින්වත් බේරාගන්න නුඹව පුංචි කුසුමේ පරව යනතුරාවට රකින්නම් තැලුන පෙති මගේ ළයට තුරුල්කරන් සීතලට වැටෙන කඳුලු බිඳුවලින් වත් තැලුන නුඹේ සිනිඳු පෙති සහනයක් ලබයි නම් හඬන්නම් රිදුම් දෙන පෙති සීතලට තෙමෙන්නට මං ලඟින් තියාගෙන......

ප්‍රවේශමට හිටපන්..........

Image

බලන් ඉන්නද මං ....

අමතකව තිබූ කව හිත යටින් එබෙද්දී, මං ගැනම දුක හිතී හිත යටින් හඬද්දී නුඹ ලඟට දුව ඇවිත් තුරුලුවී සැනසෙන්නට ඉඩක් නම් නෑ, කඳුලුවල සීතලට තෙමී ගිය කම්මුල් උනුහුමින් පිරි මදින්න නුඹ එනතුරු බලා ඉන්නට තවම හිත හයියයි.... එදා තරමට නැතත් බලා ඉන්නද ඉතින් මගෙ පාලු හීනයට හන්තාන එනතුරා.....

දුරක යමි

අතින් මුව වසාගෙන ඉකි බිඳුම් නොඇසෙන්න මගේ සුසුම් වල හඬ ඔබෙ සවනට ළං නොවෙන්න කුමක් කරමිද ඔබේ හදට නොරිදුම් වෙන්න දුරකටම යම්ද මම ඔබෙන් ඈතට වෙන්න තිබුනු එක හවුහරන ඔබේ හදවත ගාව යන්න සිත ඉඩ නොදෙයි හුදකලා ලෝකයට පාලු සොහොනක පිපුන සොහොන් මලක සුවඳ හිත වටා රැඳෙනවා මොනවදෝ මුමුනමින් කෙදිනක හෝ යන්න යන බව දැනම උන්නු ඔබ යන්න ඉඩ දෙන්න මට ලිහා බැමි හැමදේම.......

නොඉඳුල් කුසුම

සුවඳවත් නොවිඳ නෙලාගත් නොඉඳුල් කුසුම නුඹ... කිලිටි මල් අසුන සරසන්න ලොබ බැඳින් පුදසුන අබියසට වී බලා හිඳිමි තවමත් අතින් ගෙන පරව ගිය කිලිටි මල් මග බලා හිඳියි තව නැවුම් මල් එනතුරා කිලිටිවී පරව යන.... දෝතෙහිම පරව යන තුරා ඔබ රැක ගනිමි නොකිලිටිව නුඹේ සුවඳ නුඹේ ලඟම රඳවා....

නුඹ යන්න ගිහින්

සීතල දෙතොල් වෙවුලමින් සොයන උණුහුම ඈත ගිහින් තවම දන්නේ නැහැ, ලඟ උන්නු නුඹ යන්නම යන්න ගිහින් අදහනු බැහැ සිහිනයක් මෙන් තවමත් මා උමතු කරනා ඔබේ සුවඳ රැඳෙමින් මා අසලම රිදවනවා මටම නුඹ යන්න ගිය බව කියමින්....

තරුවකටවත් ඇහෙනවානම්......

තරු අයිති අහසට, සඳ අයිති අහසට, ඉරත් අයිති අහසට, පොලොවට වෙලා බලන් ඉන්න මම ... ඒවා දිහා බලන් ඉන්නව හැරෙන්න වෙන මොනවා කරන්නද ?? පොලවට වෙලා අහස දිහා බලන් ඉන්න එක වෙලාවකට සතුටක්,ඒත් ටික වෙලාවකට විතරයි.අහසට ගොඩක් දේවල් අයිතියි, වෙලාවකට මට මං ගැනම දුකයි මට මොනවද තියෙන්නේ මොනවද මම මේ කරන්නේ කියලා.....එහෙම කියලා ඉතින් අහසෙ තරු  මට ලබෙන්නෙත් නැහැ,ඒත් ඉතින් හිත ඒක තේරුම් ගන්නෙත් නැහැ. කවද හරි තරුවක් මම ලඟට ඒ කියල බලන් ඉන්නවා, කවදාවත් මගේ ලඟට නාවත්...මොකද මට එතකොට ජීවත් වෙන්න හීනයක් තියෙනවා කිසිම දෙයක් මං ලඟ නැතත්.....

පමා වී පිපුන රෝස කුසුම

අනුන් සතු උයනක පිපි රෝස කුසුමක සුවඳ, සනහලන මුලු හදම අනුන්ගේ උවද ඔබ... උමතු වූ සිහිනයක නිදි වරන ඇසිපියට සොඳුරු රුව හැම විටම අගනේය තව තවත්... සොඳුරු ඇය නෙලා ඔබ සුවඳ විඳ රැගෙන යන දවස ලඟ එන්නේය මට හොරා විගසින්ම.... පමා වී දුටුව ඔබ සුවඳ හද පුරවාන මතකයේ එක් කොනක රිදවාවී දවසක.......

කටුගාමි හදවත

නිමක් නැත තවත් ගිමන් හරින්නට ඉඩක් ගිලන් වී හිත තවත් යන්නට නම් බෑ දුරක්.... කඳුලකට ඉඩක් දෙන්න බෑ තවත් බලෙන් ඇස් අගින් නතරවී හිඳින් සුලඟට පවා වැටෙන්නට බලන් හිඳින් නුඹ දුරින් එපා මට තවත්...... මතකයන් දුරින් තියන්නම් ඉතින් මිරිඟුවක සෙවූ ආදරය නමින් සිහිනයක ගෙවු ජීවිතය අදින් නිමාවෙයි ඔබේ නම කටුගා හදින්.....

පිහාටුවක්

සුලඟේ පාවෙන පිහාටුවක් මඟක් නොදැන ඔහේ පාවෙන පිහාටුවක්, මහපාරේ සැතපී තැලී පොඩිවී විනාසවෙන පිහාටුවක්.....

එන්න යලි

ඉකි බිඳින හීන ළඟ තනි රකින නුඹේ සිත වාරු නැත තනිකමට නුඹ ළඟින් උන්නද දුරක ගොස් නුඹේ සිත ආයෙමත් නො එන්නට සිත නැතුව ගත කුමට, මගේ හීන අරන් ගිය තවම නුඹ පමා නෑ සිත සොයන් යලි එන්න මග බලන් උන්නු මට තව කලක් කමක් නැත එන්න යලි හිඳින්නම් එදා මෙන් හැමදාම.....

හිඳින්නම් මා.....

වැරදිකරු මමද අද, තනි සිතට පෙම්බැන්ද නොපතනා මගේ ලොව අතැර යන්නට හදන... ටික දුරක් ආ මගේ යන්නටම සිහින දැක ආපසු හැරෙන්නට නැත ඉඩක් විඳවන්න, කාත් කවුරුවත් නැති පාලු හිත තනිවෙන්න අකමැතිය හැම විටම නුඹව සිහිවෙනා විට යන්නටම හදන නුඹ ඉඳීනම් මා එක්ක හිඳින්නම් ඔබ එක්ක හුස්ම අවසන්වෙන තුරුම......

මං මුලා වූ සිහිනය අහවරයි

තනිව දුටු ඒ සොඳුරු සිහිනය මුලාවක්මැයි දැනන් උන්නද, වෙලී පැටලී මංමුලාවේම ඉදින් තාමත් මම හිඳින්නේ ඔබේ සුරතල් වදන් වල හිඳි මගේ ලෝකය අතරමං කල සොඳුරු ආදර හැඟුම් අද නෑ නියං කල මෙන් මහා පොලවට, තනිව ආ මඟ දුරක් යන්නට ආ නුමුදු ඔබ මගේ සෙවනට, මංම පමණයි තවම ඒ මඟ ඔබ ඔබේ මඟ, හමු නොවෙන අප මං දෙකක යන තනිව යන මඟ යන්න යමි මම කුමක් කරමිද මගේ උරුමෙට......

හිත වටේ කැරකෙන තත්පර කටුව.....

හිත වටේ කැරකෙන තත්පර කටුව ටික් ටික්..... නතරවී හද ගැස්ම දෙගිඩියාවෙන් පිරී ඉහවහා යන තරමට නොඉවසිල්ල වදදෙමින් තවත් නම් බෑ මෙහෙම මග බලා ඉන්න මට, නුඹ කොහිද ඇයි ඔහොම දුර ඉදන් තවම ඔබ කල්පනාව... ලඟට ඇවිදින් ඉන්න මගේ හිත සනසවන්න......

උරුමය නොහොත් කරුමය..

මට මාවම නැති කරපු මගේ ආදරය මාත් එක්කම මැරිල යද්දෙන්....

ඔයාටයි මම කියන්නේ......

දුර ඉන්න හන්තාන නුඹ ගැනම හිතාගෙන අතීතයේ දවසක මග බලා උන්නා මතකයක් පමනක්ම ඉතිරි කර හන්තාන ලඟට නෑවිදින් ඉන්න කියා මට කිව්වා කොහෙ යම්ද කොහෙ ඉම්ද අතරමං වී හදම මංමුලා වී තවම හන්තාන සොයනවා හන්තාන දුරින් හිඳ මා දිහා බලාගෙන නොදැක්කා සේ ඉඳන් ජීවිතය විඳිනවා......

වස්සානයක් ඇවිදින්........

වස්සානයක් ඇවිදින් හොරෙන්ම සීතලත් අරන් වෙවුලමින් මුලු ගතම උනුහුමක් සොයන් නොදැනීම ඇස් අගට කඳුලු බිඳු උනන්.... පෙරදාක සෙවනැල්ල සේ ලඟින් හිඳි උන්හුමට මගෙ ලඟම මඟ නොහැර හිඳි අඳුරු වලාපට සමඟ වෙලා හද සොවින් නික්ම ගිය ඔබ කොහෙද වස්සානයට කලින්.......?????

වෙන්දේසිය ඉවරයි

ඔයා මට මේ වැඩේ කරල දෙනවනේ, මම දන්නවා ඔයා මට ගොඩක් ආදරෙයි කියලා... අනේ මට කොහොම හරි ඒක කරල දෙන්න, ම්.............තව මොනවද කරන්න ඕනි ඒ ඇති නේ,ඔයා හොඳයි නේ.... කොහොම හරි කරල දෙන්න... මට එයාව ඕනමයි.... ඈවරයි දෑවරයි තුන් ඈවරයි, වෙන්දේසිය ඉවරයි.

පාර කියන තරුව.....

ජීවිතය දිග ගමනක්......අතරමඟ නවාතැන් පොළවල් ගොඩක් තියෙනවා.නවාතැන්පොළවල් සීයක් තිබුනත් අපි ඒ හැම තැනකම නවතින්නේ නැහැ,හැම තැනම නැවති නැවති ඉන්න ගියොත් අපිට යන්න ගමනක් ඉතුරු වෙන්නේත් නැහැ. ජීවිතේ අඳුරු කාලවලදි අපිට ආලෝකයක් ඕනි වෙනවා,ඒ යන මඟ හරිද කියල දැනගන්න....අඳුරේ අතපත ගාමින් යන්න පුලුවන් ගමනක් නෙවෙයි ජීවිතය කියන්නේ,අවදානම කියන දේ ජීවිතය පුරාවටම තිබුනත් අඳුරත් එක්ක ජීවිතයට එකතු වෙන අවදානම ආලෝකයක් එකතු උනාම නැති වෙනවා....සම්පූර්ණ මඟම නොවුනත් යන මඟෙන් කොටසක් හරි එළිය කරන්න පුලුවන් ආලෝකයක් තියෙනවනම් ඇත්තටම ඒ ජීවිතේ හිමිකාරයා ගොඩාක් වාසනාවන්තයි....හඳ අඳුරේදි මුලු ලෝකයම එලිය කරනවා...ඒත් හඳ හැමදාමත් පායන්නෙ නැහැ....හඳ නැති උනාම මඟ හොයා ගන්නේ පහන් එලියකින්..... තරු කැටවලට මග කියන්න පුලුවන්...ඒත් මග එළිය කරන්න පුලුවන්ද ???? අඳුරු අහසක දුරින් ඉන්න තරුවක් පාර කියනවා මට ලඟට එන්නට..... නිවී දිලිසෙන මලානික නුඹ අඳුරු මාවත එලිය කරනට පලක් නැත නුඹ ලඟින් සිටියද.... මඟක් හසරක් නොම නොදැන යන අයාලේ යන හීන පොදි බැඳ තනිව මාවත සොයා යන්නෙමි එපා තරු එලි මඟ කියන්නට......

තනිකම.......

පිනි කැට තරු කැට මිණි කැට කඳුලු කැට..... මද සුලඟ පිනි වැස්ස සීතලට වෙවුලවන.... නිහඬ රැය තනිකමට දුරින් හිඳ අත වනන ....

නිහඬ හද.....

වැහි බිංඳු අතරේ දියවෙනා කඳුලු බිංඳු, කාටවත් නොපෙනෙනා උණුහුමට ගලායන... සුසුම් හඬ මැකීයන ඝර්ජනා මැදින් හද පායනා ඉරක් ගැන සිහින දැක මංමුලාවී.... වරුසාවට ආත්මයම දියවී යන්නට ලඟ බැව් නොදැනම, තවත් කලු අහස දෙස බලා නිහඬව ඉකි බිඳින, අසරණ නුඹ දකින හද සසලවුණි හැමවිටම......

දයාබර මිතුරිය...

සොයා නිදහස දුවන නුඹ සිත අසරණව අද මගේ නෙතු අග, කඳුලු බිංදුවල දියවූ මතකය රිදවනවා, වරදකරු මම වෙමිද නොවෙමිද... අදහසක් නැත දෙගිඩියාවෙන්... සිතූ නිදහස අද ලබා නුඹ... නිසල වත මා දෑස අද්දර, රිදවනවා තවත් දුකින් හදවත.....

ඇහි පිල්ලමක් යට......

ඇහි පිල්ලමක් යට හුස්ම යනතුරු... බලා ඉන්නට පෙරුම් පුරනා අහිමි නුඹ සිත, පාමුලට වී කඳුලු වගුරා හඬා වැටෙනා.... අහිමි අහසට උරුම නැති තරු, මහා පොලවට කඩා වැටෙනා මට මගේ ලොව අහිමිවෙන්නට ළංව ඇති බව සෙමින් දැනුනා.......

යාචකයා

පාලු මාවතේ කිහිලිකරුවෙන්... සෙමින් පියවර එකට තබමින්... වේදනාබර මතකයන් හිතේ ගුලිකර සඟවමින්... පුරුදු නිවහන සෙවන සොයාලා... විඩාබර නෙත් විමසමින් හුරුපුරුදු වත සොයා විමසයි මගේ හද දැන් චකිතයෙන්... නැත කිසිවෙක් පෙනෙන්නට ඇයත් යන්නට ගොසින්ය වාහල්කඩ ඉදිරියේ නතරවී සිටින්නෙමි මම තනිවම.....

හන්තාන....

හඬන්නට ළංව තනිවෙලා... වේදනාදෙන සීත මීදුම් එදා පහසක් ගෙනා මතකය... ආයෙමත් සිත පාරවා... සඳේ එළියෙන් මිදෙන්නට නොහැකි බව දැන දැනම.... තවමත් හන්තාන සැඟවෙනවා සඳ එලියෙන් මිදෙන්නට.......

හඬන්න......

හඬන්න, ඇසිපිය වසා... ගිනිගෙන දැවෙන හදවත නිවාලනතුරු... සීතල කඳුලු බිංඳු අවසන්වෙනතුරු... හදේ සංකා දියවයනතුරු... හඬන්න....

මම ඔයාගේ.........

Image

අම්මත් ලඟ නෑ තාත්තත් ලඟ නෑ.....................( මගේ බෝඩින් ජීවිතය )

ආතල් එකේ ගෙදරට වෙලා ඉඳපු කාලය ඉවර උනේ හිතාගන්නවත් බැරි තරම් ඉක්මනට.ගෙදර අතඇරල බෝඩිමකට මාරු වෙන්න සිද්ද උනේ ගෙදර ඉඳන් කැම්පස් එන්න අමාරු නිසයි.හොඳට කල්පනා කරල බැලුවොත් තවම ගෙදරින් යැපුනත් තනියම ජීවිතේ ඉස්සරහට යන්න අඩිතාලම දාල ඉවරයි කියන හැඟීම හිත ඇතුලෙ කැරකෙනවා.හැම දෙයක්ම තනියම කරගන්න සිද්ද වෙලා. ගෙදර ඉද්දි නම් හැම දෙයකටම ගෙදර කවුරුම හරි ඉඳිය,ඒත් බෝඩිමේ ඉන්න රූමා ඇරුනම මේ ගෙන්දගම් පොලවේ වෙන කවුරුවත්ම නැහැ  මගේ ලඟ .ජීවිතේ මහා පුදුමාකරයි.........කවුරු කිව්වත් ඒ කතාව 100%ක් ඇත්ත.වෙනස්වීමත් එක්ක වෙනස් වෙන එක හරිම අමාරුයි,ඒත් ඉතින් මොනවා කරන්නද.පැවැත්ම පවත්වාගන්න නම් වෙනස්වීමත් එක්ක අපිත් වෙනස් වෙන්න එපැයි..... අම්මයි තාත්තයි ලඟ හුරතල් වෙවී ඉඳලා,පිස්සු නටපු කාලේ ඉවරයි නේද කියලා වෙලාවකට හිතෙනවා.තනියම ජීවත්වෙන හැටි ඉගෙනගන්න තනියම ජීවිතේ නැගීසිටින්න කාලය ඇවිත්.අම්මත් ලඟ නෑ තාත්තත් ලඟ නෑ,ඒත් ඉතින් මට ඉන්න වෙනවා ......